Friday, February 19, 2010

සුදු නෝනාට උදව් කළ පොලිස් කාරයා

පොලීසිය ගැන අපිට අහන්න ලැබෙන්නේ නරක මිසක් හොදක් නෙවෙයි. ඒත් ඇතැම් හොද පොලිස් කාරයෝ ඉන්න බවත් අපි දන්නවා. මේ සිදුවීම වුනේ මගේ ඉදිරිපිටදිමයි.
මම ගාල්ල නගරයේ මහවීදිය ඔස්සේ ඇවිදගෙන යද්දී මම දැක්කා සුදු ජාතික කාන්තාවක් ඇවිත් වීදි වෙළෙන්දෙකුගෙන්බුද්ධ රූප කිහිපයක ගණන් අහනවා.
ඒ වෙළෙන්දා තමන්ට තේරෙන කැඩිච්චි ඉංග්‍රීසියෙන් ගණන් කිව්වා. මේ වෙලාවේ නගරයේ හිටපු සංචාරක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මේ ස්ථානයට කිට්ටු කළා.
ඒ එක් නිලධාරියෙක් අර සුදු ජාතික කාන්තාව සමග කථා කළා.
ඔහු ඇහුවා ඇය බුද්ධාගමේ ද කියලා.
නෑ............ මම ලංකාවට ඇවිත් තමයි මුලින්ම බුද්ධාගමේ සිද්ධස්ථානයකට ගියේ .
බුද්ධාගම සමග දියුණු වුණු ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මම හරිම කැමතියි. ඒ නිසා මට බුද්ධ රූපයක් අරගන්න හිතුනා.
ඇය කියනවා ඇසිණි.
ඒ ගැන පොලිස් නිලධාරියා පැහැදෙන්නට ඇත. ඇය බලමින් සිටි බුද්ධ රූප දෙකක්ම ගත් නිලධාරියා ඒවා ඇය අත තැබුවේය.
සුදු ජාතික කාන්තාව මුදල් දෙන්නට සැරසුණද ඔහු එය කාරුණිකව ප්‍රතික්ශේප කළේය.
ඔබ අපේ රට ගැනත්, මෙහි සංස්කෘතිය ගැනත් සිතා සිටින ආකාරයට මම කැමතියි. ඔයා අපේ රටට ඇති ඇල්ම ගැන මම ස්තූති කළ යුතුයි. මේක මගෙන් පුංචි තෑග්ගක්.
පොලිස් නිලධාරියා එසේ කිවේය.
මුව නොසෑහෙන සේ ඔහුට ස්තූති කළ සුදු ජාතික කාන්තාව නික්ම ගියේය.
තම මුදල් පසුම්බිය ගත් පොලිස් නිලධාරියා බුද්ධ රූප දෙකෙහි මුදල් පදික වෙළෙන්දා අත තැබුවේය. එය රුපියල් 60 ක මුදලකි.
හැමදාම ගැරහුම් ලබන පොලිස් නිලධාරීන් අතර ඔහු කළ මේ ක්‍රියාව විශිෂ්ඨ බව නොකියා සිටිය නොහැකි බැවින් මෙලෙස සටහන් කළෙමි.